ස්ටාර්මර්ගේ සමු ගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 24, 2026

ස්ටාර්මර්ගේ සමු ගැනීම

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කම්කරු පක්ෂයයි. කම්කරු පක්ෂයේ නායකයා කීර් ස්ටාර්මර්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වෙයි. අතුරුමැතිවරණය පරාජය වීමත් සමග පක්ෂය අභ්‍යන්තරයෙන් එල්ල වුණු බලපෑම් හේතුවෙන් ස්ටාර්මර් ට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඒ සමග අග්‍රාමාත්‍ය ධුරයට ද ඔහුට අහිමි වෙයි. 

පසුගිය දා පැවැති අතුරු මැතිවරණයෙන් සංක්‍රමණ-විරෝධී ‘රිෆෝම් යූකේ’ නමැති පක්ෂය ඔවුන්ගේ බලය පෙන්වද්දී, කම්කරු පක්ෂය පසුබෑමට ලක්වුවත්, කම්කරු පක්ෂ සාමාජික, මැන්චෙස්ටර් නගරාධිපති ඇන්ඩි බර්න්හැම්, බ්‍රිතාන්‍යයේ උතුරු දෙසින් පිහිටා මේකර්ෆීල්ඩ් ආසනය ජයග්‍රහණය කළේය. පරාජයන් රැසක් මැද මෙය කම්කරු පක්ෂය ලැබූ සුවිශේෂී ජයක් විය. ඒ සමග ස්ටාර්මර්ගේ නායකත්වය අභියෝගයට ලක් විය.

පක්ෂයට නායකත්වය දීමට සුදුසුම කෙනා ස්ටාර්මර් නොව, ඇන්ඩි බර්න්හැම් යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් හඬක් නැගෙන්න පටන් ගත්තේය. පක්ෂයේ වැඩි දෙනා බර්න්හැම් වටා එක් රොක් වෙද්දී, ස්ටාර්මර්ට කළ හැකි කිසිවක් නොවිණි. ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ස්ටාර්මර්, ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටියේ බිරිඳ ද සමඟය. ඔහු හැඟීම්බරව සිය හඬ අවදි කළේය. 

“මීට වසර දෙකකට පෙර, කම්කරු පක්ෂය පාලක පක්ෂය ලෙස බලයට ආවා. එසේ වුණේ අවුරුදු 14 කට පසුවයි. ඒක සැබැවින්ම ආඩම්බරයක්. ඒක මගේ ජීවිතයේ ආඩම්බර ම අවස්ථාවයි. වසර ගණනාවක දේශපාලන හැලහැප්පීම්වලින් පසු, රටේ ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වුණා. ලක්ෂ ගණනක් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත යහපත් අතට හැරවීමේ අවස්ථාවක් අපට හිමිවුණා. 

මා කම්කරු පක්ෂයේ නායකත්වය බාර ගනිද්දී, පක්ෂය දේශපාලනික, මූල්‍යමය සහ සදාචාරමය වශයෙන් බංකොලොත් වෙලයි තිබුණේ. බොහෝ දෙනා කීවේ, දැන් කම්කරු පක්ෂය ඉවරයි කියලයි. ඒත් ඒ මතය වෙනස් කරන්න මට හැකිවුණා. අප බලය ලබා ගත්තේ බලයට ඇති කෑදරකමට නොව, බ්‍රිතාන්‍යය වඩාත් සාධාරණ සහ සැමට ගරුත්වයක් ඇති රටක් බවට පත් කිරීමටයි. අප බලයේ සිටි මේ කාලයේ අනෙකුත් රටවලට වඩා වේගයෙන් වර්ධනය වන ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටත්, උද්ධමනය අභිබවා වැටුප් වැඩි කිරීමටත් හැකි වුණා. 

වසර 17 කට පසුව, සෞඛ්‍ය සේවයේ පොරොත්තු ලේඛන වේගයෙන්ම අඩු කරන්න අපට හැකිවුණා. කම්කරුවන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ විශාලතම වෙනස සිදු කළා. නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු පැමිණීම පාලනය කළා, දරුවන් ලක්ෂ පහක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීහට හැකි වුණා, යුරෝපීය මිත්‍ර රටවල් සමඟ සබඳතා අලුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ගෞරවය නැවත ලබාදීමටත් හැකිවුණා. දැන් කම්කරු පක්ෂය ශක්තිමත්. 

ඒත්, මේ වනවිට දිගටම පක්ෂයට නායකත්වය දීමට සුදුස්සා මා ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මගේ පාර්ලිමේන්තු කණ්ඩායම ලබා දුන් පිළිතුර මා ඉතා ගෞරවයෙන් පිළි ගන්නවා. මා සැමවිටම තීරණ ගත්තේ මා ආදරය කරන රට මුලට තබා බැවින්, ඒ නිසා බහුතරයේ මතයට ගරු කරමින්, මා කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. මගේ තීරණය මා චාල්ස් රජුට දැනුම් දුන්නා. 

 එලැඹෙන ජූලි 9 වැනිදා සිට පක්ෂයට නව නායකයකු පත් කරගැනීමේ කටයුතු ආරම්භ වේවි. සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුව නැවත රැස්වීමට පෙර නව නායකයකු පත් ගැනේවි. එතෙක්, මා අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී ඉන්නවා. නව නායකයාට මාගේ පූර්ණ සහාය ලබා දෙනවා. ගතවුණු වසර හය පුරා මා සමඟ රැඳී සිටිමින් මට සහාය දුන් මගේ සගයන්ට, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට සහ රාජ්‍ය සේවයට මා ස්තූති කරනවා. 

අවසන් වශයෙන්, රටේ අසීරුම රැකියාවෙන් සමුගන්නා මම, දැන් මාගේ ජීවිතයේ තිබෙන වටිනාම රැකියාව වෙනුවෙන් කාලය කැප කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ, හොඳ සහ නරක කාලයේ මාගේ පසෙකින් හිදිමින් මට ශක්තියක් වූ මගේ ආදරණීය බිරිඳ වික්ටෝරියාට හොඳ ස්වාමිපුරුෂයකු වීම සහ මගේ ආඩම්බරය මෙන්ම සතුට ද වන මගේ දරුවන්ට හොඳම පියකු වීමයි. ඔබට බොහොම ස්තූතියි.” 

 පසුගිය දා බ්‍රිතාන්‍යයේ පැවැති අතුරු මැතිවරණයෙන්, මැන්චෙස්ටර් නගරාධිපති බර්න්හැම්, විශිෂ්ට ජයක් ලැබුවේ සිය ප්‍රධානතම ප්‍රතිවාදියා රොබට් කෙන්යා පරාජය කරමිනි. කෙන්යා නියෝජනය කරන්නේ සංක්‍රමණ-විරෝධී ‘රිෆෝම් යූකේ’ පක්ෂයයි. 

බර්න්හැම් ඡන්ද 24,927ක් ලබා ගත් අතර, කෙන්යා ලබා ගත්තේ ඡන්ද 9,231 ක් පමණි. මේකර්ෆීල්ඩ් පැවැති ප්‍රාදේශීය සභා ආසන අටම කම්කරු පක්ෂයෙන් උදුරා ගැනීමට ‘රිෆෝම් යූකේ’ පක්ෂය සමත් වුවත්, බර්න්හැම්ගේ මෙහෙයවීමෙන් කම්කරු පක්ෂය උතුරුකරයේ මේකර්ෆීල්ඩ් ආසනය ජයග්‍රහණය කිරීම කම්කරු පක්ෂයට පන්නරයක් විය. 

බර්න්හැම්, කම්කරු පක්ෂයේ ප්‍රබලයන්ගේ පැසැසුමට ලක් විය. තමන්ගේ මීළග ඉලක්කය පක්ෂ නායකත්වය සහ අගමැති පුටුව යැයි බර්න්හැම් ද ප්‍රසිද්ධියේ පවසා තිබේ. පක්ෂයේ නායකයා තෝරා ගැනෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන ඡන්ද විමසීම්වලිනි. 

එලැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත, කම්කරු පක්ෂ වාර්ෂික මහ සමුළුවට පෙර ස්ටාර්මර් වෙනුවට පක්ෂ නායකත්වයට පත් කිරීමට සිටින හොඳම සහ එකම විකල්පය බර්න්හැම් බව කම්කරු පක්ෂයේ විශ්වාසයයි. 2024 මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය බහුතර බලයකින් ජයග්‍රහණය කළ ද අග්‍රාමාත්‍ය ස්ටාර්මර්ගේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් පක්ෂය බ්‍රිතාන්‍ය ජනතාව අතර බලාපොරොත්තු සුන්කරගෙන ඇති බව පැවැසෙයි. 

ජනමත සමීක්ෂණ අනුව, 1970 දශකයෙන් පසු බ්‍රිතාන්‍යයේ බිහිවූ අතිශය අප්‍රසාදයට පත් අගමැතිවරයා ස්ටාර්මර්ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ස්ටාර්මර් අතරේ ද අර්බුදයක් පැවැතිණි. ඒ, ඇමෙරිකා ඉරාන යුද්ධය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාවට සහාය දක්වමින් ඉරානයට පහර දෙන්න එන්නැයි ට්‍රම්ප්, ස්ටාර්මර්ගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, ස්ටාර්මර් ට්‍රම්ප්ට ‘බැහැ’ කීවේය. ඒ, බ්‍රිතාන්‍ය වැසියන්ගේ යහපත ගැන සිතමිනි. අවසානයේ ස්ටාර්මර්, ට්‍රම්ප්ගේ උදසහසට ලක් විය. 

ස්ටාර්මර්ට අභියෝගයක් වුණු බර්න්හැම්, සාමාන්‍ය පවුලක දරුවෙකි. ඔහුගේ පියා බ්‍රිතාන්‍ය ටෙලිකොම් ආයතනයේ දුරකථන ඉංජිනේරුවරයකු වූ අතර මව පිළිගැනීමේ නිලධාරිනියක් බව පැවැසෙයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරූ බර්න්හැම්, ඔහුගේ පවුලෙන් විශ්වවිද්‍යාලයකට ගිය පළමු සාමාජිකයා ද වෙයි. 

‘වෙස්ට්මිනිස්ටර් දේශපාලන සමාජයෙන්’ පරිබාහිර, බිම් මට්ටමේ දේශපාලනඥයකු ලෙස ජනතාව බර්න්හැම් හඳුනාගෙන ඇත. පසුගිය පෙබරවාරියේ ස්ටාර්මර් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පක්ෂ විධායක කමිටුව මැදිහත් වී බර්න්හැම් අතුරු මැතිවරණයකට තරඟ කිරීම වැළැක්වීමට ද උත්සාහ ගත්තේය. මෙය බර්න්හැම්ගේ ජනප්‍රියත්ව තවත් ඉහළ නැංවීය. 

බර්න්හැම් දේශපාලනයට ආධුනිකයකු නොවේ. 2017 දී මැන්චෙස්ටර් නගරාධිපති වීමට පෙර, ඔහු අග්‍රාමාත්‍ය ගෝඩන් බ්‍රවුන්ගේ රජයේ සෞඛ්‍ය ලේකම්වරයා (ඇමැති) ලෙස කටයුතු කළේය. ඊට පෙර ඔහු දෙවතාවක්ම (2010 සහ 2015) පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදී පරාජය වී තිබේ. බර්න්හැම්ගේ සාම්ප්‍රදායික දේශපාලන ගමන වෙනස් වූයේ ‘හිල්ස්බරෝ ක්‍රීඩාංගණ ඛේදවාචකය’ මුල්කොට ගනිමිනි. 

හිල්ස්බරෝ ඛේදවාචකය යනු එංගලන්තයේ ෂෙෆීල්ඩ් හි හිල්ස්බරෝ ක්‍රීඩාංගණයේ පැවැති ලිවර්පූල් සහ නොටින්හැම් ෆොරස්ට් අතර පාපන්දු තරගයක් අතරතුර හටගත් තෙරපීමය. එම අවස්ථාවේදී, ලිවර්පූල් ක්‍රීඩාලෝලීන් 97 දෙනකු හුස්ම හිරවී ජීවිතක්ෂයට පත්වී 760 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

මියගිය ලිවර්පූල් පාපන්දු ලෝලීන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට එවකට පැවැති බ්‍රිතාන්‍ය රජය අපොහොසත් වීම ගැන කලකිරුණු බර්න්හැම්, එතැන් සිට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයකු බවට පරිවර්තනය විය. නගරාධිපති ලෙස බර්න්හැම්, මැන්චෙස්ටර් නගරයේ ප්‍රවාහන, නිවාස සහ රැකියා ක්ෂේත්‍රවල කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කළේය. එය බ්‍රිතාන්‍ය වැසියන්ගේ පැසැසුමට හේතුවක් වී ඇත. 

කොවිඩ් වසංගත සමයේදී ප්‍රාදේශීය අරමුදල් වෙනුවෙන් ඔහු වෙස්ට්මිනිස්ටර් මධ්‍යම රජය සමඟ කළ නිර්භීත සටන හේතුවන්, ‘උතුරේ රජු’ (කිංග් ඔෆ් ද නෝත්) යන නාමය පට බැඳුණි. ඒ, ගේම් ඔෆ් ත්‍රෝං කතා මාලාව සිහි ගන්වමිනි. කොරෝනා සමයේ බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ කොන්සර්වේටිව් පක්ෂයයි. විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බර්න්හැම් තරමක් සංකීර්ණ මත දරයි. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට (බ්‍රික්සිට්) දැඩි ලෙස විරුද්ධ වූ අයකු වන්නේ ද බර්න්හැම් ය. ඔහු දිගින් දිගටම පවසන්නේ, මහා බ්‍රිතාන්‍යය යළිත් යුරෝපා සංගමය හා එක්විය යුතු බවය. 

2023 ඔක්තෝබර් මාසයේදී කම්කරු පක්ෂයේ නිල ස්ථාවරයට පිටින් යමින්, ඔහු ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. ඊශ්‍රායලයේ, නීතිවිරෝධී පදිංචිකිරීම් විවේචනය කළේය. ඒ අතරේම, ඔහු ‘ඊශ්‍රායලයේ කම්කරු පක්ෂ මිතුරෝ’ නමැති සංවිධානයේ සාමාජිකයකු ලෙස ඊශ්‍රායලයට සහාය ද දැක්වීය‍. කෙසේ හෝ වේවා, මේ වනවිට බ්‍රිතාන්‍ය දේශපාලන කරළියේ වඩාත්ම අවධානයට ලක්වූ චරිතය ඇන්ඩි බර්න්හැම්ය. බ්‍රිතාන්‍යයේ අර්බුදකාරී දේශපාලන පරිච්ඡේදය උඩුයටිකුරු කරමින්, ‘උතුරේ රජු’ ඩවුනිං වීදියේ අගමැති නිල නිවසට යාවිද? එය ඉදිරි මාස කිහිපය තුළ තීරණය වනු ඇත. 

ලුසිත ජයමාන්න‍ 
BBC ඇසුරිනි

Classified_Ad